1

ඇති ‍හොදටම

Posted by හර්ෂ K සිල්වා on Sunday, August 07, 2011

කදුළ ඉකි ගසනා වෙලාවට
ඇවිත් ඉන්නට මගේ ළගින්
කෙනෙක් හෙව්වා නොනිද රෑ මං
ගෙවූ කාලය තුල ඉදන්

සිහින මංදිර සදළු තල වල
ගෙවූ කාලය ඇති ඉතින්
අවැසි වෙනසක් සොයා යන්නට
කාලයද මේ මට ඉතින්

ලොවට හැගවුන හිතට ඉනු දුක
කියා ගන්නට මට ඉතින්
අවැසි වෙනසක් සොයා යන්නට
කාලයද මේ මට ඉතින්


|
0

නුහුරැ කදුළ

Posted by හර්ෂ K සිල්වා on Monday, August 01, 2011

නුහුරැ කදුළ නොවෙයි
නුහුරැ නුඹේ හිතයි
මේ වැටුන කදුළයි
මැකුවෙ මගේ දුකම

ගිරි ශිකර බිද
සෙවූ සෙනෙහස
හිරැ සරට බියවී ගියාදෝ
පුදුම එයම නොවෙයි

තුරැ ළපළු මැද
පැතුම් ඉපැදුන
හිත දුරක සිරවී ගියාදෝ
පුදුම එයම නොවෙයි

පුදුම ගිලිහුණු මගේ කදුළට
ඉන්න දුන්නු නුඹයි


|
0

උපන් හිත

Posted by හර්ෂ K සිල්වා on Monday, August 01, 2011

උපන් හිත උපන් ගෙයි මියයන්න දී
බලා ඉනු මිස හඩනු නම් බැරිවී
ලොවම කියනා කතා වල ගොළුවී

මහ දුරක් නෑ නෑවිදින් නැවතුන තැනට
යා යුතුව තිබුණා සොයා
මහ දුරක් නෑ නෑවිදින් නැවතුන තැනට

සැනසුමක් නෑ හීනෙකින් ලතැවුන හිතට
මා හැඩුවා හඩගා කියා
සැනසුමක් නෑ හීනෙකින් ලතැවුන හිතට


|
0

ඇදි සිහින දිගේ

Posted by හර්ෂ K සිල්වා on Monday, August 01, 2011

ආයෙමත් හමුනොවන සේ
ආයෙමත් අප වෙන් වුනේ
හමුනොවී දින ගත වුනේ
තාම සෙනෙහස හිත් කොනේ

හිත් අහස් ගැබේ ඇදි සිහින දිගේ
මම උන්නෙ ඔහේ හැමදාම වගේ
කාලයේ සොදුරැ තැන් එදා වගේ
නෙත් තෙමනු දැනේ රහසකින් වගේ

මත් වුනන් වගේ අපි ඇවිද ගියේ
පෙම් හිතක අගේ සරදමක් උනේ
ජීවිතේ රැදුරැ හිත් වලින් මගේ
නෙත් තෙමනු දැනේ රහසකින් වගේ


|
0

තරැකැට මදි

Posted by හර්ෂ K සිල්වා on Wednesday, July 20, 2011


තරැකැට මදි ගනන් කරන්නට කාලය වැඩි හිංදා
වැලිකැට මදි ගනන් කරන්නට කාලය වැඩි හිංදා
සුසුමන් මදි සුසුම් හෙලන්නට කාලය වැඩි හිංදා
තනිකම ඇති තනිවෙන්නට ලොව මා ළග නැති හිංදා

ලොවට එපා උන කදුළට මම පෙම් කල හැටි දන්නා
ඇසට කදුළු නෑ දෙන්නට හැඩු කාලය වැඩි හිංදා
තනිකම ඈතට විසිකර මල් සුවදට පෙම් බැන්දා..........

හිතට එපා උන සෙනෙහස නුඹ මට රහසේ දුන්නා
නෙතට පුරැදු උණූ කදුලම නුඹේ කොපුල් මත රැදුනා
තනිකම ඈතට විසිකර මල් සුවදට පෙම් බැන්දා..........


|
1

අම්මේ

Posted by හර්ෂ K සිල්වා on Tuesday, July 19, 2011

සසර පුරාවට එකට ගියා නුඹ
මතකයි අම්මේ හෙමින්සැරේ
ඒ දුර තනියම යන්නේ කොහොමද
දෙපා වාරැ නැති උනා මගේ

මළහිරැ බසිනා හැන්දෑ අදුරේ
නුඹ කොහේ නෙත් අතැර ගියේ
මගේ දෙඅත උඩ උන්නේ නුඹමද
තාමත් මටනම් හීන වගේ

තරැකැට දිලෙනා අහසේ අම්මේ
නුඹ මැවු රන් මැදුරැ කොනේ
හිතේ තනිය මග ඇරැනේ කොහොමද
තාමත් මටනම් හීන වගේ


|
0

තනිවෙලා

Posted by හර්ෂ K සිල්වා on Sunday, July 17, 2011

තෙලි තුඩකින් හැඩවුන සිහිනයක තනිවුණ
මගේ දඩබ්බර හිත කෝ සෙව්ව සෙනෙහස
දුරයන සුදු වළාකුළක තනිව උන් මට
මතකය අමතකව ගිහින් උන්හිටි තැනම

හිත රිදවෙන වචන වලට පුරැදු උඩුහිත
දකින සිහින වල උන්නා නොදැන නුඹ ගැන
හිතා ගන්න බැරිඋනෙ තනිවුනාම ලොවක
හැමදෙයක්ම නැති උනෙ මට උනේ කොහොමද

මද සුළගට ගැහෙන පහන වගේ නෙත්යුග
කදුළු අතර නුඹ සොයනා අරැම දුටුවද
දරා ගන්න බෑ හැම ගියාම අතර
හැමදෙයක්ම නැති උනෙ මට උනේ කොහොමද


|
1

කෙටි සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Sunday, July 10, 2011

පිසින්න ඇස් වල කදුළැලි
ඉඩක් දෙන්න මට සියුමැලි
නගා දසත මුව හසරැලි
හිදින්න හදවත ළග දිලි

හිරැ කිරණයි අළුයම නුඹ
මසිත අවදිකර නෙත් සිඹ
මල් සුවදයි සෙනෙහස නුඹ
සසර පිනට මා ලද නුඹ


|
1

ඔහේ හිතුනා ඉතින් කිව්වා

Posted by හර්ෂ K සිල්වා on Saturday, July 09, 2011

යන්තර මන්ත්රට ගුරැකම් හරියට දන්න
දෙවියන්ගෙනුත් හොද හැටි වැඩ කර ගන්න
යක් භූතයින් පලවා හැරැමට ඉන්න
යකදුරැ ගැනයි මේ ටික කවියෙන් ඔන්න

ගම්වල උන්න ඉස්සර වෙඩිවගෙ මිනිසුන්
යක්කුන් බැදන් වැඩකිඩ එළකිරි විදිහෙන්
කිව්වත් උනුන් ගැන බිය සැක හිත පුරවන්
අදනම් ඉන්නෙ මිනිසුන් රවටන හිවලුන්

අහලා නැතිද මහනුවරින් දෙවි ගැත්තෙක්
දෙවියන් ලවා මිනිසුන් හට කර අවැඩක්
මෙහෙමත් උන් ඉන්නෙ බුදු බණ ඇසෙන රටක්
ඒකයි පුදුම මටනම් මේ වෙන්නෙ මොකක්

ආගම දහම මුල් ගුරැ තනතුරේ තියන්
උන්නොත් නොවරිදී කවදා කොහේ උනත්
දෙවියන් වැදීමෙන් ඵල නැති බවක් දැනන්
කල පිං උනුන්ටත් දී සැනසුමේ ඉදින්


|
3

කෙටි සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Friday, July 08, 2011

සරණක් සොයා පන්සල වෙත පියමැන්නේ
පිහිටක් වෙලා යන්නලු කවි කියවෙන්නේ
අරැමය කිමද මොහොතක් බලලා උන්නේ
මුදලට පිරිත් ස්වර මුමුණයි වැට අයිනේ


|
5

රටට හිතැති සංගා

Posted by හර්ෂ K සිල්වා on Friday, July 08, 2011

අපේ හිතේ මුල් තැන දිනු සංග පුතේ
කිව්ව කථාවට මසුරන් දෙන්න හිතේ
සල්ලි වලට කරන්න බැරි දෙයක් නැතේ
හිතන මිනිස්සුන් කයි රට හතර අතේ

පුදුමයි ඒත් ඇත්තයි අගමුල බොහොම
කිව්වේ නුඹ පමණි බිය නැති සේ මෙහෙම
කරන්නෙ මොනවාද ක්රියකට් මතු රැකුම
ඇස් කන් නැතිද රට කරවන හැම ළගම

පාට උපැස් පළදා මෙය බලනු එපා
සංග දිහා නිවටෙක් සේ බලනු එපා
හිතුන දෙයට කිසිදා ගරහන්න එපා
මෙහෙම පුතුන් ගරහන් මැති ඇමති එපා


|
0

ඉඩදෙන්න

Posted by හර්ෂ K සිල්වා on Sunday, July 03, 2011

පැහැසර අහසට සද නැති හිංදම
දුර යන මගෙ හිත කදුළු පුරෝගෙන
දැන් ඇති හිතුනම හැඩුවා ඉකිබිද
අතර මගක හිත දමා යන්න මට
මතක අමතකව යනු බැරි ඇයි තව………

නිදි යහනට එන සිහින දකින හිත
සලන කදුළු වල අරැත මගෙන් දුර
ගිය හිංදම අද තනියම අහසට
කියන්න කවි පද……ඉඩදෙන්න

නුඹ නිදියන ලොව සුවය සැදෙනු දැක
සලන කදුළු වල සතුට පුරෝගෙන
හිත තනියම නැත නුඹ තනියට ළග
ඉදින්න මගෙ ළග……සිහිනයක


|
1

කෙටි සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Saturday, July 02, 2011

ඉර ගල වැසුනදා තනියට හද ආවා
සද තනියේම සිටි දින තරැ වැල් ආවා
සමනල පහස පිපි මල් තනියට ආවා
මගෙ තනිනොතනියට නෙත කදුලක් ආවා


|
0

තරැ සිත්තම්

Posted by හර්ෂ K සිල්වා on Tuesday, June 28, 2011

සිත සිරගත කලා
ඔබ මැව් තැන් පුරා
දුර යන්නට හිතා
අතැගිලි එක් උනා......

සද වට කර තරැ සිත්තම් රෑ අහසේ මැවු දිහා
සුසුම් එකට වෙලෙන දුරක නුඹ මැව්වේ දුක නිසා
බලන් ඉන්න මට ඇස් උණු කදුළට බර උන නිසා
සෙනෙහස ඇති දෝරෙ ගැලූ නුඹ වෙනුවෙන් හිත පුරා.....

මම වට කර නුඹ පෙම්වත් වූ සි‍හිනේ බිද දමා
පැතුම් මිලින මලක සුවද ලෙස සුළගේ පා උනා
හිතන් උන්න මගෙ පෙම්වත දුකක‍ට හිත ගෙන්නලා
සෙනෙහස ඇති දෝරෙ ගැලූ නුඹ වෙනුවෙන් හිත පුරා.....


|
0

විමසුම

Posted by හර්ෂ K සිල්වා on Sunday, June 26, 2011

විමසුම කියන වැඩසටහන බලපු මට
වහගන්නට බැරිව ලතවුණි මගේ කට
රෙදි හෝදන්න රජයේ කුණු පිරැණු විට
මෙහෙමත් කඩේ යාමක් දුක හිතුනි මට

අද කියුවා කථාවක් පොඩි දුවක් ගැන
අතරින් ගැසූවා මඩ සරසවිය ගැන
සරසවි පුතුන්ගේ හොද ගැයුවොතින් දැන
නොහොදක් නොවේවී හිතහන් මොහොත ගෙන


|
2

ඉලංදාරියෝ

Posted by හර්ෂ K සිල්වා on Saturday, June 25, 2011

සිංහල වචන මැද ඉංග්රීමසියේ වදන්
දැම්මට මල පොතේ අකුරක් බැරිව ඉදන්
දෙකනට තෝඩු මදිවට නාසයත් විදන්
යන්නේ කවුද දුරකථනය කනේ තියන්

සුළි සුළගකට අහුවුණු සේ කෙස් වැටිය
තැන් දෙක තුනක් ඒ මත මලකඩ ඇතිය
දුටු වැඩි ඇත්තො කුහුලෙන් ඒ දෙස බැලිය
කාලය තමයි මේ උන්හට උන හදිය

ගෙල බැදි මාලයේ බර කිලොවක් පමන
වැස්සේ ගියොත් අකුණක් ඒවී වදින
කලිසම තැන් දෙකක් අන්ඩක් දා සැදුන
ඉලංදාරියා යයි මේ කිසි නොදැන

දැම්මට මෙලෝ රහ නැති හැඩ වැඩ මෙහෙම
හිත පොඩි තමයි තාමත් ඉස්සර වගෙම
අම්මගෙ උණුහුමට පෙම්බැදි පුතු සේම
තාමත් ඉදී ළග ඈ උණුහුම ළගම


|
2

අසව් මිතුරනි මෙබස් විලියෙන්

Posted by හර්ෂ K සිල්වා on Friday, June 24, 2011

බුදු බණ ඇසෙයි සිව් දෙස ප්රවතිරාව දිදී
පුදුමයි එහෙව් රට මිනිසුන් තාම නිදී
පෝයට පිරෙන ජන ගග පන්සලේ හිදී
රැකුනොත් සිල් වේවි රට දුසිරෙතින් මිදී

මත් උවදුරට අසුවුණු මා මිතුරන්නේ
අත මිට කාසි නැතිවෙන බව නෑ දන්නේ
පහු පහු වෙද්දි තව තව ලෙඩ වැලදෙන්නේ
එතකොට මිතුරැ නෑ සෙට් උන ළග ඉන්නේ

මස් කඩ වලට යන උන් ලැජ්ජා නැතිව
කිරි ටික දුන්න අම්මා ගෙන එයි සතුව
අනේ ඉතින් පෝයට සදහම් අසුව
අයටත් ඉරක් පායනවනෙ විලි නැතිව

දෙතනේ කිරි පෙවූ අම්මා කෝ ළගක
ඉන්නේ මහළු මඩමකදෝ ඈ දුරක
රැයකට නින්ද යනවද අතහැර දුකක
ඒ වගෙ පුතුන් නිරයේ දුක් වෙනු නිසැක

තම සතු බත් කටක් වත් දන් නොදෙන හිත
කොහොමද යන්නෙ අවසන ‍මුළු ලොවම නැත
කොච්චර කියූවත් නොඅසන මුන්ගෙ හිත
සසරේ යාවි විද විද දුක් කදුළු නෙත


|
1

පුදුම සෙනෙහසක්

Posted by හර්ෂ K සිල්වා on Thursday, June 23, 2011

නුඹ ඇඩුවම මටත් ඇඩෙන
පුදුම සෙනෙහසක්
කියා ගන්න වචන නැතිව
තැවෙනවා තවත්

සද දුර තනියම උන්නා
මම ඈ ළග හිද උන්නා
ඒත් නුඹට දැනුන තනිය
මගෙ හිතටත් නිති දැනුනා

හිත දුර හීනෙන් දිව්වා
තරැ නෑ අහසෙම හිංදා
මත් එක්ක ළග උන්නට
නුඹ වෙනතක බව දැනුනා


|
0

කෙටි කල සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Wednesday, June 22, 2011

රජකම් කුමටදෝ මේ මහ පොලොව මත
සනසුම තිබුනදෝ මන්දිර සදළු මත
සොර බිය නිසා අවිලුනු මිනිසුනේ හිත
සසරට බියක් නැතිවද මියදුනන් දැක


|
1

බසයට හරස් වූ ජීවිතයක්

Posted by හර්ෂ K සිල්වා on Wednesday, June 22, 2011

අයියේ යන්න ඕනෑ පාසලට උදෙන්
හිංදා ඇවටිල්ල අම්මගෙ උරන බසින්
යන්තම් බත් කටක් උගුරට කටට හොරෙන්
දා පිටවුනේ මව් පිය පා නැමද ඉතින්

පොත් ළැම තුරැලෙ උනුහුම විදිනා අතර
පා පැදියේම උන්නේ අයියා නිතර
උදයට සවසටත් යන එන මග නිතර
මේ සොහොයුරන් කොයි කාගෙත් ප්රි ය මිතුර

පැයකට ඇසිල්ලක වේගෙන් යන බසයෙන්
හිරි හැරයක් වේවි සිතුනද නෑ හිතකින්
යට වෙන තුරා මගෙ නංගිව දැක හිදුමෙන්
සිහිසුන් උනා මා අත් පා පණ නැතිමෙන්

පිපෙන්න මුලු ලොවට සුවද දෙන්න සිතා
උපන්න කුමරිය නින්දේ මිලින උනා
හිතන්න බෑ වැරැද්ද කා ලගද කියා
මොහොතක් ඇති වරදින්නට ලොවම වසා

හිත් පිත් නැති ‍රෝද හතරට පණ දෙන මිනිසුන්
හිතුවොත් හොදයි මග යන්නට සිහි ණුවනින්
පොඩි අත්වැරැද්දට වරදින හැටි හිතමින්
යනඑක සුබයි රිය සක හසුරන මිතුරන්


|
1

බඩගිනි දැනේ මට නුඹටත් වගේම

Posted by හර්ෂ K සිල්වා on Monday, June 06, 2011

උපතින් ඉන්න උරැමය මේ මහ පාරයි
කවුරැත් උන්නෙ නෑ තනියට හිත පාරයි
බඩගිනි නුඹට මෙන් ලෝ කාටත් බාරයි
නොබලා ගියොත් අප මහ පාරෙම වේලෙයි

ගෙල බැදි මුතු පොටක් පැතුමක නැතිවාට
අම්මේ කියන්නට අම්මෙක් නැතිවා‍ට
යන්තම් මතක ඇති කාලෙක සිට දුකට
හැඩුවා කරපු පව් සේදී නොගියාට

|
0

දිය බිදක් සොයන මිනිසුන්

Posted by හර්ෂ K සිල්වා on Sunday, June 05, 2011


කතරක දිය බිදක් සොයන මිනිසුන් වාගේ
අප ඇවිදන් ආ ගිය දුර මනින්න බෑනේ
කල්පයකට දකින්න නැති බුදුන් වැඩි මගේ
යන්න තවම හිත නැතිවද සරන්නේ ඔහේ

මිතුරැකමට ළගට ගත්තෙ බොන මත් වතුර
සතුරැකමට තියා ගත්තෙ ගමේ පන්සල
නොවිදිනා දුකක් උහුලන මිනිසුන් හිදින
මහ පොලොවේ මග හැදින්න අය දැන් නැතිද

රිදුනු හිතට සුවය දුන්නෙ බුදු දම් ගගුල
වැටුණු කදුළු උරා ගත්තෙ හිතේ සිසිලස
නොලැබෙනා පැතුම් පොදි බැදි මිනිසුන් හිදින
මේ සසරේ දුක හැදින්න අය දැන් නැතිද


|
0

හිතේ තනිකම

Posted by හර්ෂ K සිල්වා on Sunday, June 05, 2011


දහසක් දේවල් කියන්න බැරිවම
ඇස් වල කදුළු ගලා යයි
දහසක් තනිකම මකන්න උන්නට
හිත තනිවම තනිකම උහුලයි

මහ සයුරේ තනි මගක ඇදෙන නැව
හරියට මගෙ තනි හිත වාගේ
දහසක් අය මා ළග ළග උන්නට
දැනෙන්නෙ හිත තනියම වාගේ

රෑ අහසේ තරැ අතර දිලෙන සද
හරියට මගෙ තනි හිත වාගේ
දහසක් අය මා ළග ළග උන්නට
දැනෙන්නෙ මා කතරක වාගේ


|
1

කවුළු දොරෙන්

Posted by හර්ෂ K සිල්වා on Tuesday, May 31, 2011

අපට වරම් නැති ලොවක උපන්නට
පිංකර ඇති අපි ළගින් ඉදින්නට
සමුගෙන යන හෙට දවස දකින්නට
පතමි හිතට දිරි ඇතිව ඉදින්නට

කවුළු දොරෙන් රිය දුරක ගියා හිත
හැබහින් දුටු ඒ මුල්ම දිනේ
ආයෙ දකින්නට තව සැරයක් නුඹ
ආ ගිය මග හැසිරැනේ ඔහේ

සුවද පොදෙන් ලද සෙනෙහෙ ගලා ගිය
තවමත් නුඹ නෑ දකිනු කොහේ
හීන හදන්නට ඇසට නින්ද නැත
ආ ගිය මග මගහැරේ හිතේ


|
2

අහිමි දෙපා

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

|
2

නුඹේ උපත මවගෙ විපත

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

හිනහෙන්නද අඩනවාද
පුතේ තවම හිතුනේ නෑ
නුඹේ උපත මවගෙ විපත
තනි මට උහුලන්නට බෑ

මගේ හිතේ ඇවිලුනු ගිනි
පුතේ නුඹට නොපෙනුනාට
උපන් දිනය සමරන්නට
අම්මව තනි කරන්න බෑ

නෙතේ පිරැණු කදුළැල් දැක
පුතේ නුඹට නොහැඩුනාට
උපන් දිනය සමරන්නට
අම්මව තනි කරන්න බෑ


|
0

උපමා නෑ සමකරන්න බෑ

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 28, 2011

සසරේ සැරි සැරෑ
මගෙ හිත පිං පිරෑ
කවුරැද හිත දිනූ
අහම්බෙන් හමුවුනූ

උපමා නෑ සමකරන්න බෑ
නුඹ ළග ඇති වෙන අය ළග නෑ
සෙනෙහස සුර මී විත බදු නෑ
කල්පයක් තරම් නුඹ දුර නෑ

නෙතගින් පෑ මහ ගැඹුරක් නෑ
මගෙ හිත ගිය වෙන අය තව නෑ
හදවත පුද දී ඉවසුම් නෑ
කල්පයක් තරම් නුඹ දුර නෑ


|
4

මා සොදුර

Posted by හර්ෂ K සිල්වා on Friday, May 27, 2011

නිසල දෙණ මා සොදුර නුඹ
දෙනෙත් හැර මා දෙනෙත් සැනසුව
අනේ මා ළග ඉන්න තව
හඩනු බෑ නුඹ අයිති අය ළග හිද

සුවද කල නුඹ පංතියේ
ඉන්න බෑ තව තනිව
එන්න නුඹ ගිය දුරට මට
පාර කෝ නුඹ කොහිද ගියෙ

මතක හිත පිරි සංදියේ
ඉන්න නුඹෙ සුවද විද
ඉන්න හිත හීනයෙම තුළ
නෑනෙ කෝ නුඹ සිහින වල


|
0

හැඩුවා ඉකිබිද

Posted by හර්ෂ K සිල්වා on Thursday, May 26, 2011


එක්ටැම් ගෙයක මා සිරගත කල
මගේ ගෙවුණු පෙර දවසේ
මගෙන් නුඹට උනු කදුළු නෙතට ඉනු
වරද තවම මට නොහැගේ

ලොවෙන් ඈත් වී ඉන්න හිතා ගෙන
ලොවම ඉදිරියේ මා තනිවී
හැඩුවා ඉකිබිද කදුළු සගවගෙන
ඇයි තවමත් හිත ගිමන්හලට නාවේ

මගෙන් දුරස් වී ඉන්න නුඹට හැකි
තැනක මගේ නෙත් තනීවෙලා
හිතනා පැතුමට මටද වඩින්නට
ඇයි තවමත් හිත ගිමන්හලට නාවේ


|
1

අනේ මගේ වස්සා

Posted by හර්ෂ K සිල්වා on Wednesday, May 25, 2011


පිලිවෙත් පුරන අය කෝ පෙර දිනක වගේ
ආයෙත් වෙසක් ඕනද පෙන්නන්න රගේ
මසට බැන බැනා උන් අය කරන දගේ
උනුන්ම මස් කඩයේ පෝලිමක් දිගේ

අභය දානයට රට හැම තැන සොයලා
කාසි වලින් මස්කඩ මුදලිදු සනසා
අරන් ආව රටටම කිරි දෙන හරකා
අනේ අන්න ආයෙත් මසටම විකුණා

බලා ඉනු කොහොම නොකියා මේ විගඩම්
නිසා කියමි කවිකර සෑදෙනු හැකිනම්
නොකා ඉන්න මස් නුඹහට හැකිනම්
අභය දානයම වෙයි නිතැතින් සැකසුම්


|
0

යන්නද හදන්නෙ

Posted by හර්ෂ K සිල්වා on Wednesday, May 25, 2011

සුවද විලවුන් වසා නුඹ
මා නෙතු අතැර ඉන්නා නිසා
බලා උන්නේ සසල හිත
පෙර දවස ගැන දුර හිත හිතා

සුදුමැලි කම්මුල් සිඹින්න
අවසර නැති වූ නිසා
කදුළු සලන දෑසට නුඹ
මා හැර නම් යනු එපා

නොකිලිටි සෙනෙහස් ඉවුරේ
තනිකර දුක ළග තියා
බැදුන සිහින පාරැව ගෙන
මා හැර නම් යනු එපා


|
1

බඹරැන් නාවේ

Posted by හර්ෂ K සිල්වා on Wednesday, May 25, 2011

මහ බෝ සෙවනේ පෑයු සද කොහේ
සමුගෙන යම්දෝ සැ‍දෑ නිම්නයේ
මගේ හිතට දොඩමළු වී උන් ඒ
මල් කැකුළේ කෝ නුඹේ රැව මෙහේ

බණ පද අතරට සිසිලස ආවේ
සුළග නිසා නොව දැන උන්නේ
ඒත් නුඹට හිත දෙන්නට බැරි යැයි
ලොවම අවදියෙන් හිනහෙන්නේ

මල් ඉති අතරට බඹරැන් නාවේ
මලට අයිති බඹරැන් ඇති හිංදා
ඒත් නුඹට හිත දෙන්නට හිතුනේ
බඹර පහස නුඹ හඩවන හිංදා


|
1

හිත හඩන තරම්

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 21, 2011

හිත හඩන තරම් නුඹ කියනා වදන් වලට පැටලී
නුඹ සෙවු තරම් ලොවට හොරෙන් දන්නේ හිත පමණී
ඒ කාලය නිමවී නුඹ ඇවිදින් යලි හිත සැනහී
හැමදාම ලගින් ඉන්නට තිබුණා සෙනෙහස සුරකී


|
1

ලොකු අයගේ අවවාද

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 21, 2011
සදට තරැට පෙම් කල
පුංචි අපේ හිත් තුල
ලොවේ අදුරැ තැන් වල
එපා රැදෙනු පුත බොල

|
1

එක එක අයගෙ හිත්

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 14, 2011

සුදු මල් ඔසරියට හැඩ වුන නුඹෙ ලැමද
වරලස සුළග හා මිතුරැව යයි නිබද
මිණි සේ දිදුල නෙත් දැක කවි ගී පබැද
ලොවටම ඇසෙන සේ කියනුව හැකිද

පුංචි පුංචි ලියම් කෑලි ‍නුඹෙ නමට ලිය ලියවලා
උදේ ඉදන් හංදි ගානෙ මහ අව්වේ කරවෙලා
අව්වට පෑදුන මොලයට සත් දෙවිදුන් නැමදලා
හංදි කඩේ නංගි එක්ක උන්නේ පෙමින් මත් වෙලා

විද්ද හාවට නොවැදි පදුරට වැදී කැලඹී මල් සිනා
පැද්දු තාලෙට මගෙත් නාඹර හිතත් අන්සතු වී ගියා
බබා කෙටු අකුරකට පෑයූ සරා සද ළග හිත තියා
ගෙවුන පෝයට මසක් ගතවී පෙම් පුවත ජයටම ගියා


|
3

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Wednesday, May 11, 2011

සද හිරැ තියෙන තුරැ මිහිමත ඉන්න හැකී
හිතනා අයට වැරදුනු තැන් පෙනෙනු නැතී
පස් කම් සැප නැතිව සතුටක් සොයනු හැකී
මිනිසුන් සසර අග දිනුමක් ලබනු ඇතී


|
3

බුදු පුතේ බොන්න එපා

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 07, 2011
මත්පැන් වතුර බී ගෙන දවසම තිස්සේ
නොහොදට මග කියන මිතුරන් පස්සේ
යන හැටි දකින කදුලැලි කම්මුල ඔස්සේ
තරවටු කරනු බෑ දැන් නුඹ ලො‍කු වයසේ

ලේ කිරි රස මදී කියලද උන් පෙව්වේ
හරි හෝ වැරදි නැතිවද කිසිදා හෙව්වේ
පොඩි මල්ලිගේ බත් කට නෑ තව කැව්වේ
අතමිට කාසි නැතිනම් කොහොමද බිව්වේ

තුනටිය කැක්කුමට දැන් වසරක් ගෙවුනේ
ඒ හිංදාම බර වැඩ නුගුණට උන්නේ
මේ දුක අසන්නට නෑ නුඹ හොද සිහියේ
මගෙ බුදු පුතේ මත් වතුරට සමු දෙන්නේ

|
2

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Saturday, May 07, 2011
සක්මන් කරන හිත හොද නරකට මැදිවී
ඉක්මන් කලෝතින් යා හැකි භව නිමවී
යන්තම් සිල් පදෙන් රැකුමට නුඹ හුරැවී
උන්නත් සැප ළගයි සසරේ දුක නිමවී

|
1

දං පිං කරනා ඇත්තෝ

Posted by හර්ෂ K සිල්වා on Friday, May 06, 2011
බසයට ගොඩ වෙනා ගැබ්බර අම්මාට
අසුනක් දෙන්න නෑ හිත ඈ දුටුවාට
එසැනින් නැගෙන නිදිබර නෙත වැසුනාට
තෙත්වන හිතක් නැතිවද බණ ඇසු හිතට

ඇට මස් සමට ඇලලී ගිය අම්මාට
බර වැඩ බර වැඩී දැන් උහුලන ඇයට
ලේ කිරි පෙවු හිංදද රසකර නුඹට
ණය පියවන්න සලකනු ඔහොමද ඇයට

සතෙකුගෙ මසට ගිජු වූ හිවලුන් වාගේ
සොය සොය ගිලන මිනිසුනි පිහිටද කාගේ
පෝ දින සුදු වතට නැවතුණු කට කාගේ
පල වෙද දිනක රැගුමක් නිකමට වාගේ

ගම්බිම් පුරා පතුරා සුපතල නාමේ
දන්සැල් පුරා රැවුදුනමුත් නම ඈගේ
අන් දිනයකදි මග යදිනා අය වාගේ
ඈ පන්නා ගනී පිංකර ඇති වාගේ

|
1

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Friday, May 06, 2011
බණ පද නොනැසි ලොවකදි ඉපදුනාට
පිං පව් දෙපිල හරිහැටි නොදැනුනාට
හිත නන් විසිතුරේ බැදි ලොබ උනාට
බුද්ධාගම තමයි හිමි මෙහි ඉපැදුනාට

නුවණැස අවදි වනතුරැ මග බැලීම
ඔද්දල් වනු නිසැක සසරේ බැදීම
තෙරැවණ සරණ නොපමා පිලි ගැනීම
සසරේ සුවය විය හැකි බණ ඇසීම

මත් සුව සොයන හිත් කදුලේ ගිලේයා
කම් සුව සොයන හිත් සැකයේ ගිලේයා
දම් සුව සොයන හිත් සතුටේ ගිලේයා
මෙත් සුව සොයන හිත් සසරේ දිනේයා

|
3

විවාදයකට සෙට් වෙමු

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 30, 2011
මගේ පන්හිදට ගෙඩ වෙන අයට මුලින් තුතී
සිරස නමා අරඹමු කවියෙන් වාදය ගතී
කෙල්ලො කොල්ලො යන්නෙ වැරදි පාරකමලු නිතී
ඒ ගැන කවියෙන් කියන්න එකතු වුනොත් ඇතී

|
1

අබිලිං සහ සමාගම

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 30, 2011
අබිලිං -
සුදෝ අපිත් යමුද ටවුමෙ පිචර් බලන්න
අමුතුම සමයන්ලු එහේ දවස පිරෙන්න
සීනි බෝල පොඩි උන්ටත් දෝත පිරෙන්න
අරගෙන තව බොහො දේ හිත ගතත් පිරෙන්න

පවුල -
මල විකාර මේ පොඩ්ඩක් වයස හිතන්න
හවස් වෙලා යං පන්සල් මලක් පුදන්න
නිකං ඉන්න බැරිනම් පැදුරට ගොඩවන්න
ලිපේ බතට මාළු හදන්නට මට දෙන්න

අබිලිං -
කරකාරෙට ගත්ත දොහේ පුරහද පානේ
මතකද අපි නියර දිගේ දුව ගිය තාලේ
එදා වගේ හිත තාමත් නාඹර ගානේ
උඹ ඇයි හදිසියේ නාකි හම පොරවන්නේ

පවුල -
අනේ මගේ කට තිරිහන් වෙන්න හදනවා
ලොකු එකීට විසිඑක එන දොහේ පිරෙනවා
කොණ්ඩෙ ගිහින් පෝයට හිසෙ හද පායනවා
එහෙව් එකා මගෙන් කොමල බස් ඉල්ලනවා

අපිට ගමේ කෝලම් ඇති සිනහ මැවෙනවා
ඉතින් ආයෙ මොට ගමහැර මගට බහිනවා
අනේ බිලිං ලිද ළග කලගෙඩිය තියෙනවා
ඒක අරන් ආවොත් නම් පිං සිදුවෙනවා

අබිලිං -
මුන්දැට කියනා කට ලිං බොක්කෙ උලනවා
එන පෝයට මම තනියම සිදාදි යනවා
උඹට ඕනනම් සල්පිල ජයට තියෙනවා
පොඩි කෙල්ලත් එක්ක ගිහින් විගසින් එනවා

|
1

ඔන්න කියල දැම්ම

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 30, 2011
ලේ දහඩිය උකසට ගත් අපේ උන්දැලා
මහ හයියෙන් කෑ ගැහුවට ගිරිය පුප්පලා
පාට වලට ගෙන දා බිදු නොහෙලූ අයියලා
කම්කරැ හිත්වල දුක අහුවාද ලං වෙලා

වැඩ කරනා දෑතේ කරගැට පීදීලා
මැයි දින අයියලාග මහ බඩත් පීදිලා
මැයි මල් අතරේ හිත් වල යටින් පීදිලා
ඇත්තෙ වෙන දෙයක් කම්කරැ නමත් විකුණලා

|
0

මැයි දින ගැයුම

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 30, 2011
ලේ දහඩිය ගැලූ ගතයි
දුක් අතරේ ගෙවූ හිතයි
රජ ඔටුනු අවැසි හිසටයි
මැයි මලින් පිදෙන කිරැළයි

දෑතේ කරගැට සුමුදු හිත ‍ සගවයි
ගලන දහඩිය නුඹේ ගත සවියයි
සොයන ජය ඇස් වලට සුව යහනයි
ඒ දිනක් එන්නට අපේ හිත පැතුමයි

|
1

පුළුවන් දෙයක් නෑ

Posted by හර්ෂ K සිල්වා on Friday, April 29, 2011
තිස් තුන් කෝටියක් දෙවිවරැ හිටියාට
දේවාලයේ වැද වැටි වැටි වැන්දාට
පුළුවන් දෙයක් නෑ උනුනට කරන්නට
වේවා සෙතක් යැයි දෙඩුමක් හැරෙන්නට

විභාග අත ළගදි දෙවියො සිහි වෙනවා
ලෙඩක් උනත් දෙවියන් යැදුමට එනවා
බබෙක් නැතත් දෙවියන්වම සිහි වෙනවා
මේව දැකල මට සිනහවකුත් යනවා

තණ්හාය ජායතී සෝකෝ බුදු වදනයි
ඇහුනත් නෑහුනා සේ ඉනු හැටි පුදුමයි
පිං දී දෙවියන්ගෙ පැසසුම ලැබ ඉදුමයි
බුදු හිමි වැඩි රටේ මිසදුටු නෙත් අදුරෙයි

|
0

වයසක පිරිමි

Posted by හර්ෂ K සිල්වා on Friday, April 29, 2011


පෙට්ටි අටක මහ සෙනගක් ඇදෙන තැන
එක එක විගඩමුත් වෙනවලු ලොවම දැන
වයසක කතුන් හිරිමල් යුවතියන් වෙන
දුම්රිය මැදිරියක සිරවුනි උදෑ සන

හොද හෝ නරක ඇති මේ යන තාලේ
නුවනින් දකිනු නම් එය සතුටට සෑහේ
පවුල් අවුල් කරවන මිතුදම් යායේ
කුමටද බැදී පසකට වී ඉනු රාලේ

නිතර දුටුව රැව හදවත ගෙන යනවා
ගෙදර ඉදෙන බත කරදරයක් වෙනවා
අලුත් අත්තකට පය තබලා යනවා
එහෙම ගියපු ගෑනුන් නිරයේ යනවා

පෙට්ටිය එකයි හැමදාමත් සෙට් වෙන්නේ
කවුරැත් දුවයි විගසට දුර නෑ යන්නේ
වයසක පිරිමි කෙල්ලන් අතරෙයි ඉන්නේ
හිතුවට කමක් නෑ උන් දුවගේ වයසේ

|
0

දැක්කද මියැදිලා කාන්තාවක්

Posted by හර්ෂ K සිල්වා on Friday, April 29, 2011
වැස්සට තෙමී අව්වට වියැළිලා ගිය
ජීවිත වලට සරණක් නැතිවාද බය
හිංදා නොරිස්සුම් හිත දස අතේ ගිය
මියැදිනි මහමගේ මුල්ලක තනිව ඇය

මේ කෙනෙකුගේ ආදර බිරිද ද දන්නේ
නැතිනම් දරැ සිටින අම්මා කෙනෙකුද දන්නේ
තව හෝ කාගෙ නැගණියකද නැහැ දන්නේ
අහසින් මෙහි වැටීදැයි නෑ ලොව දන්නේ

|
0

හැදෙන්නට මගෙන් 2

Posted by හර්ෂ K සිල්වා on Friday, April 29, 2011
දිනන අය ගැන වෛර ‍ බැද
එපා දුක්වෙනු රිදුම් දී හද
උගත දේ දෙවියන්ට සේ වැද
නැගිටියව් ජය දජෙන් ඔද බැද

අනුන බොරැවෙන් රැවටුමට ලොබ
නුගුණ ඇති මිනිසුනේ සිහි ලැබ
මුසා බස් පිට කරනු නම් නූඹ
බදිනු කට වට දමා හෝ කඹ

|
1

හැදෙන්නට මගෙන්

Posted by හර්ෂ K සිල්වා on Friday, April 29, 2011
හිතේ යට ගිය අමන හිත්
නැගිටවයි හැම වෙලා මත්
එබස් හිත තුල තියා ගත්
මනුසතුන් වෙයි දිනුම ලත්

සිහිය අවසිහියට ගිහින්
සුවද දුගදට හසු වෙමින්
මිනිස් ගති අවසන ඉතින්
අපායට මග ඇර ගනින්


දුම්වැටියට හිත ගත දුන් මිනිසා
ඇස් ඉදිරියෙ යයි පැරදුම උදෙසා
හිත ගත හොද දේවල් තුල සනසා
හැදෙව් පිරිමියෙකුගේ ගති උදෙසා

|
1

මගෙන් වෙන් වූ

Posted by හර්ෂ K සිල්වා on Thursday, April 28, 2011
මතක් වී පෙර දිනක ගත වූ
මොහොත හිත ඉකි ගසා හැඩ වූ
කදුළු ඇස් වල බරට තනි වූ
දිනයි නූඹෙ ඇස් මගෙන් වෙන් වූ

|
0

පිපි කුසුමන් අතරේ

Posted by හර්ෂ K සිල්වා on Tuesday, April 26, 2011
දොරකඩ පිපි කුසුමන් අතරේ
සැදූ කැදැල්ලක සුව යහනේ
පුතේ බලන් සැගවී රහසේ
කුරැළු මව් පියන්ගේ සෙනෙහේ

සුළං සැරට ලෙලදෙන අතු අතරේ
පරඩැල් ගෙනවිත් නිසිලෙස රිසිසේ
වටපිට ඔබ මොබ හරි හෝදිසියේ
සදති සදති උන් කූඩුව එකසේ

|
0

දුර යන්නේ කොහොමද

Posted by හර්ෂ K සිල්වා on Monday, April 25, 2011
තව දුර යන්නේ කොහොමද නුඹ හා
මහ කදු සේ නෙත් අග බිදු රැදිලා
අතැර මගෙන් නුඹ යන්නට ගිය දා
සුසුම් පොදක මා මිහිදන් වූවා

සනසන්නට උන් නුඹ සැනසෙන්නේ
මගේ හිතේ සැනසුම නැතිකර නම්
හිතන්නෙ කොහොමද මා තනි නැති බව
දහසක් දේ අමතකව ඉතින්


කියා දෙන්න මා ළග තනිවූයේ
මගේ නුරා හැගුමට පෙම්කර නම්
පතන්නෙ කොහොමද හැම භවයකදිම
පෙම්වත් වී ළංවෙන්න ඉතින්

|
1

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Tuesday, April 19, 2011
මහ වෙහෙරයි මහ සෙනගයි
ලොව්තුරැ අම පැන් ගගුලයි
සොයා ඇවිදි මග නිවනයි
සාදු සාදු තුන් සරණයි

පැටලි පැටලී පැතුම් රැහැනේ
විදී දුක් අපි යනෙන ගමනේ
සොයා සැනසුම මහද අරණේ
දෙසා වැදු බුදු බණේ සරණේ

|
0

තනිකමට ඇවිදින්

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011

|
0

සිරගෙට යෑම

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011

|
0

අත්තම්මා

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
අත්තම්මා මහළු මඩමෙ කදුළු සලන කොට
අම්මේ කොහොමද ඉන්නේ නොදැක්ක විලසට
දරා ගන්න බෑ මට මගෙ පුංචිකමට හිත
හෙටවත් යමුදෝ බලන්න නුඹට නිවාඩු ද ?


දවසක් අවොත් අම්මේ නුඹටත් ඉන්නට
දරා ගන්න පුළුවනිදෝ විදිනා තනිකම
අහිමි දරැ සෙනෙහෙ හීනෙන් විදිනා ඇගෙ රැව
හෙටවත් යමුදෝ බලන්න නුඹට නිවාඩු ද ?

|
0

උපන් සිතුවිලි

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
උපන් සිතුවිලි උපන් ගෙයි මිය යන්න දී
උනන කදුළැලි නෙතු අගිස්සෙම ඉන්න දී
හමන සුලගට ගතේ වැදි සිප යන්න දී
බලා ඉමි කාලයට දොරගුළු හැර දී

|
0

අතීතය

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
පරව වැටුන මල් කුමටද අහුලන්නේ
ගිලිහුණු කදුළු ඇයි නෙතගින් උහුලන්නේ
බිදුණු පෙමට ඇයි ලසො‍වින් දුක් වෙන්නේ
හැර ගිය අතීතය ඇයි හිත පාරන්නේ

|
0

අක්ක ගෙදරින් ගිහින්

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
දුරින් උන්නු කටහඩ නෑසෙන මානේ
සිතත් එක්ක බැදි සිත අමතක නෑනේ
මල්ලියෙ කොහොමදැයි අසනා හැම ගානේ
වැ‍ගිරෙයි කදුළු කැට දිගටම නෙත් මානේ

|
1

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
වැද වැද දකින හැම බෝ කොලයක් ගානේ
ගිය මග හරිද කර කර දස පව් යායේ
නිතරම ලොවට ඇසෙනා ලෙස කී ගීයේ
පද අමතක වේවි මිනිසුනි යන කාලේ

නතර නොවී යනවා කාලය ගෙවිලා
පුංචි පුතා වෙනවා වයසක මිනිහා
ඇග රැලි වැටී වෙනවා ලෙඩ බොහෝයා
යන්න වෙනව කල පිං පව් දරායා

|
0

වෙසක් කවි ගී

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
විසකුරැ වන සතුන් හා සම
හිතේ නැගෙනා රාග ගිනි හැම
දවා නිවනින් ලබනු සුනසුම
කරනු පිං හිත හිතා නොඉදම

|
0

නවදැලි හේනේ

Posted by හර්ෂ K සිල්වා on Monday, April 18, 2011
නවදැලි හේනේ දුටු රැව
ජනපද කලණියට සමයි
සුරලොව අගනුන් දැකුමට
දැන්නම් මගෙ හිතට ප්රිනයයි

නුඹේ රැව මගෙ හිතේ ඇදුනා
කල්පයක් ළග උන් මගේ
සොයා ආශා බැදී නිරයේ
ඇවිද ඇවිදන් යන හැටී

සිතේ සැනසුම නැතේ හඩනා
දසදහස් මිනිසුන් මෙහේ
සොයා ආශා බැදී නිරයේ
ඇවිද ඇවිදන් යන හැටී

|
0

අම්මා (මගේ කුළුදුල් ගී පද රචනය)

Posted by හර්ෂ K සිල්වා on Sunday, April 17, 2011
මේක තාම හරියටම රෙකෝඩ් කලේ නම් නෑ තාම. මිනුවන්ගොඩ සිග්නේචර් බෑන්ඩ් එකට තමයි මම මේක ලිව්වෙ.


|
0

නිසල මිහිමත

Posted by හර්ෂ K සිල්වා on Sunday, April 17, 2011
නිසල මිහිමත සසල ඔබෙ හිත
හරියට සයුරේ රැළි වාගේ
ඒත් ඒ හිත මගේ වෙන්නට
පැතුවෙ ඇයි නොහැගේ

හිත පිරිච්ච ලෙන්ගතුකම
වලාකුළු අතර සැගවී
මටම හොරෙන් හොරෙන් ඇවිත්
ඔච්චම් කරනා
ඇස් රතුවෙන තුරැ මම හැඩුවා

මට කියන්න සද තරැ ගැන
නිදි යහන පුරා වැතිරී
හිතට හොරෙන් හොරෙන් මටත්
ඉවසුම නැතිවී
ඇස් රතුවෙන තුරැ මම හැඩුවා

|
1

සොදුරැ ලෝකයේ

Posted by හර්ෂ K සිල්වා on Sunday, April 17, 2011
නුඹ හා ඇවිදන් ගිය සොදුරැ ලෝකයේ
කදුළ මා හා තනිය බිදි අතරේ
සොයා ආ දුක්බර සිහින වල රැදුන මා සයනේ
නෙත්බරයි නෑ නිමාවක් ගිය කදුලු වැල් ගිලිහේ

මැවූ ලෝකය අහස වී
මම බලා ඉමි පොලොව වී
එක්ව ඉන්නට පැතුම වී
ගෙවූ කාලය හොරෙන් නිමවී

රැදී නෙත් දුර මගට වී
හඩ හඩා මහ වැස්ස වී
ගැලූ දිය නුඹ ළගට වී
නැතිද හද තෙත් කලේ මත් වී

|
0

අවුරැදු mini කවි

Posted by හර්ෂ K සිල්වා on Thursday, April 14, 2011
කදමලු බැදගෙන නෑගම් යන්නට
හිතේ කහට හැම දුරැවී යන්නට
බුලත් අතක් දී සුභාසිරි පැතුමට
දිනය හොදයි අද නෑගම් යන්නට

|
0

අවුරැදු mini කවි

Posted by හර්ෂ K සිල්වා on Thursday, April 14, 2011
තෙලේ බැදුන කැවුම් ගෙඩිය
වගේ දිලෙන පැතුම් පොදිය
සිතේ නැගෙන සිතුම් නදිය
වගේ ඉදෙන කෙසෙල් ගෙඩිය

|
0

අවුරැදු mini කවි

Posted by හර්ෂ K සිල්වා on Wednesday, April 13, 2011
රබන් පද දස දෙසින් ඇසෙනා
අතර හිත් සෙනෙහසින් බැදෙනා
හිරැට දෙවියන් පදවි ලැබෙනා
බක් මහේ කිරි ඉතිරි හැලෙනා

|
2

අවුරැදු පැතුම

Posted by හර්ෂ K සිල්වා on Wednesday, April 13, 2011

|
0

චුල්ල සෙට්ඨි ජාතකය (කවියෙන්)

Posted by හර්ෂ K සිල්වා on Tuesday, April 12, 2011
බරණැස් නුවර මහ නුවණැති සිටු පුතෙකු
ග්රැහතරැ ගල පලා නුවණින් දැක කියපු
මගදි දුටු මියැදි මී කුණ ගෙන විකුණූ
යම් අයෙකුට හැකිලු ධණ සම්පත් ලබණු

ධණවත් කෙනෙක් හිස් බස් පවසන්නේ නැතී
ඒ කියූ කථාවේ හරයක් ගන්න ඇතී
හිතුවොත් උපායක් මී කුණ විකුණන්න හැකී
සත දෙක තුනක් උපයා ජය ගන්න හැකී

සොයමින් මී කුණ ගන්න ඇත්තන්
දුගියා ගියාලූ මහ මග ඇවිදන්
මගදී සුරතල් බල්ලෙක් සමගින්
උන් කෙනෙකුට දුන්නලු මළ මියන්

ඉපැයූ පනම් දෙක අරගෙන යන්න ගියේ
ඊළග සැලසුමත් හිතමින්ලු ඔහේ
පැන් කලයක් හකුරැ ගෙන මග ඉන්නා වේලේ
මල්කරැවන් ඇවිත් පැන් බී හිතවත් උනේ


පැන් බොන අය මල් මිට මිට දෙන්නේ
ඒ මල් ගෙන ඔහු විකුණා ගන්නේ
එයින් ලැබූ මුදලින් තර වෙන්නේ
තවත් හකුරැ පැන් වැඩිපුර ගන්නේ

කිහිප දිනක් මෙලෙසින් සිදු වන්නේ
මල්කරැවණ් ගජ මිතුරන් වන්නේ
මල්වත්තෙන් කොටසක් හිමි වෙන්නේ
ඒ මල් කඩමින් විකුණා ගන්නේ

මහ වැස්සට මහ ගස් බිම වැටුණා
රාජ උයන හැමතැන අතු බැදුනා
උයන්පල්ලෙකුට සහයට උන්නා
ඇවිදින් අතු අස්කර ඔහු දුන්නා

ටික ටික ඉපැයු කාසි වලින්
නුවරට පිවිසෙන මගදි මුලින්
පැන් කලයක් ගෙන ඉද්දි දුරින්
ආ ගිය අයට පැන් ගත්තෙ හොදින්

නුවරට එන තණ කැපූ පිරිස් ගෙන්
තණ මිට මිට ලැබුවා දී රස පැන්
ඒ තණ මිටි විකුණා ලැබූ මුදලින්
දවසක උනාලු මහධන සිටු ණන්

චුල්ල සෙට්ඨි සිටු බැහැදැක
මෙබස් හෙලිකර අගසිට
තෑගි බෝග දී දුන් ඔවදන මට
සතුටින් වැන්දා දෙපා ළගසිට

සතුටින් ඉපිලුනු සිටුණන් දුර දැක
නුවණින් සිතු මේ කුමරැන් දැක දැක
දෙන්නට අත මා දුව මෙහෙසිය සැක
නෑ මේ ගැලපෙන කෙනාය මා දැක

මහමග උන් දුගියා ඒ කවුරැන්
ඇසු පැනට බිලිතුරැ එයි විගසින්
චුල්ලපණතකයි ඒ පෙර භවයෙන්
මම වෙමි නුවණැති ඒ සිටු මැතිදුන්


දෙසු වදාලූ බුදුහිමි සරණේ
සාදු සාදු කියමින් වැද එකසේ
ඇසූ බණ පදෙන් ගතයුතු රිසිසේ
කරැණ් සිතන්නට මොහොතක් එළඹේ

|
0

සොයමි සිනහව

Posted by හර්ෂ K සිල්වා on Tuesday, April 12, 2011
කදුළු අතරේ සොයමි සිනහව
කදුඵ අතරේ නැති උනත්
සුසුම් අතරේ සොයමි සැනසුම
සුසුම් අතරේ නැති උනත්

හරි සුන්දරයි කියලා මැවූ ලොව
පුරහදින් එළියට ගෙනා
හදත් එක්කම යන්න හිතිලද
අමාවක රෑ නුඹ ගියා

දුර යා යුතුයි කියලා කියූ නුඹ
අතරමං අදුරෙම තියා
සිතත් එක්කම යන්න තිබුණනෙ
දරාගනු බෑ හිත සදා

|
0

ඔවදනක්

Posted by හර්ෂ K සිල්වා on Monday, April 11, 2011
අතපය හතර ඇත්නම් හරිහැටි උපතින්
හීනෙන්වත් එපා අතපා රැකුම ඉතින්
දහඩිය වැටෙන තුරැ වෙහෙසී ලබන දෙයින්
බඩ කට මෙන් හිතත් සපිරෙයි සතුටින්

|
0

ඉන්නේ කොහොමද

Posted by හර්ෂ K සිල්වා on Sunday, April 10, 2011
නොකැළැල් සෙනෙහස සිත තුළ කුමටද
නුඹ ළග නැති මොහොතේ
නොගැලූ කදුළක් නෙත තුළ කුමටද
නුඹ ළග නැති මොහොතේ……………….

දවසක් නොදුටුන හිත ඉවසුම් නැති
තරමට හැඩූ තරම්
සදාකාලිකව ඉන්නේ කොහොමද
නුඹ නැති සිහින ළගින්………………….

හිතවත් සුළගේ හිත වැලපුන හැටි
ඇයහට නොකිය ඉදින්
වළාකුළු අතර සැගවී පුරහද
නුඹ ඇති අහස සොයන්………………

|
2

අපිත් කම්මුතුයි සනුහරෙත් කම්මුතුය

Posted by හර්ෂ K සිල්වා on Sunday, April 10, 2011
“ මහත්තයෝ සිංහලය‍ට වෙලා තියෙන්නෙ ඕකනෙ , අද මුන්ගෙ ජාතිය සිංහල ආගම බුද්ධාගම උනාට පන්සිල් පද පහ දන්නේ කීයෙන් කීයද ..? මෙහෙම ගියෙත් නම් අපිත් කම්මුතුයි සනුහරෙත් කම්මුතුයි.”

“එහෙමයි අපේ හාමුදුරැවනේ “

දායකයෙක් පන්සලට ආවොත් අපේ හාමුදුරැවො කියවන්නෙම අපේ උන්ගේ වැරදි .එක අතකට ඒක වැරදිත් නෑ .ඉංදියාවෙ ඉපදිලා එහෙදිම බුදු වෙලා පිරිණිවන් පා වදාල බුදු හාමුදුරැවන්ගේ ධාතූන් වහන්සේල වැඩි පුර වැඩම ඉන්නෙ මේ පුංචි රටේනෙ .එහෙව් රටේ ඇත්තන් හිස් වැඩ කරද්දි…..

“ඒකෙන් මේකෙන් මහත්තය ආපු කාරණාවත් අහන්න බැරි උන්නෙවැ……”

“ අපේ ගමේ උන්ගෙ හිත් වල ආසාවක් තියෙනවා පංසලේ දේවලයකුත් හැදෙනවට..”

“ මොනව උනත් අපි කෙලෙස් නසල නෑනෙ ගිහි අපිටත් ආසාවන් තියෙනව අහස උසට නගින බඩු මීළත් එක්ක ඉටු කරගන්න බැරි හීන දෙයියන්ටවත් කියන එක සාධාරණ නැද්ද අපේ හාමුදුරැවනේ..?”

වංගෙඩියේ පදමට තැලුන බුලත් හපය හක්කේ ඔබා ගත් හාමුදුරැවො ඈත නිල් අහස පීරැවෙ මාගේ පැනයට වචන හොයන්න වාගේ.

“ මහත්තයෝ දෙවියො කියන්නෙ අපිට වැඩක් කරව ගන්න පුළුවන් ජාතියෙ අය නෙමෙයි…”

“මනුස්ස පරාණයක් ලබල පිං දහම් කොරල ඒකෙ ආනිසංසෙන් තමයි දෙවියෙ වෙලා ඉන්නෙ .එයාලට පිං කරන්න බෑ .අපේ පිං ගන්න බලං ඉන්නෙ. ඒකයි අපි පිං අනුමෝදන් කරන්නෙ.”

“එහෙමයි අපේ හාමුදුරැවනේ…”

“ අපේ මුතුන්මිත්තන්ගේ කාලෙ තිස්තුන් කෝටියක් දෙවිවරැ හිටියලු .කොච්චරද කියනවනම් අපේ අම්මලට තල මෙනේරි ටිකක්වත් වේල ගන්න විදියක් නෑලු දෙවියන්ගේ හෙවනැල්ල හිංද”

"අනේ…. අපේ හාමුදුරැවනේ මේක මගේ අදහසක් නෙමෙයි. ගමේ තැන් තැන් වල කතාවෙන හිංදයි ඔබ වහන්සේට තකහනියක්ම මේක කියන්න අවේ.”

“මම ඒක නොදැන්නවෑ , මහත්තය පංසලට කොච්චර ලැදිද කියල ..”

“මහත්තයට පොඩි වැඩක් කරන්න පුළුවන්ද ?”

“ඒ මොකක්ද අපේ හාමුදුරැවනේ….?”

“ඔය කථාව කියන උන්නැහැලට හෙට හවස පංසල පැත්තෙ එන්න කව්වනම්.”
“මම කථා කරන්නම්.මොනා උනත් ගමේ මිනිස්සු කියන්නෙ මගේ නෑදෑයොනෙ .උන්ට වැරදි පාරක යන්න ඉඩ තියන්නෙ නෑ මම මේ චීවරේ දාගෙන ඉන්නකන් .”

“එහෙමයි අපේ හාමුදුරැවනේ ..මම එහෙනම් දැන් ගොහිං එන්නම්.”

“හොදයි මහත්තයෝ ..”

“තෙරැවන් සරණයි !!! “

පහුවදා පහට විතර ඔන්න පිරිස මහ හයියෙන් සල්ලාපයේ යෙදෙමින් පංසල පැත්තට අවා. ලොකුහාමුදුරැවො ආවාසය ඉදිරියේ බංකු‍ කොටයක් මත ජාතක පොත් වහන්සේ පිරික්සමින් උන්න.

“උපාසක මහත්තයල මෙහෙන් ඈදි ගත්තනම් .“

“හාමුදුරැවනේ පුංචිරාළ අයිය කාරණේ කිව්වලු නේද ….”

“ඔව්, උපාසක මහත්තයො මම ඒ ගැන ගොඩක් දුරට කල්පනා කලා.”

“මහත්තයෝ, අද සෝම හාමුදුරැවො හිටියනම් ඔය කියන දේවාල මෙලහකට පාලුවට ගිහින් .”

“මම උන්වහන්සේගෙ ධර්ම දේසනයක් ඇහුව මේ ළගදි .”

“ඒක මේ ඇත්තොත් අහන්න වටින එකක්.”

“ මේ ඇත්තො දන්නවද ඝණ දෙවියො …?”

“එහෙමයි අපේ හාමුදුරැවනේ … සිල්පයට අග්ර දෙවියන් වහන්සේනෙ .” එකෙක් කීය.

“ අපි පොඩි කාලේ හෝඩිය කියෙව්වෙ ඝණ දෙවි වන්දනාවෙන් පස්සෙනෙ.” තව එකෙක් අත්වැල් ඇල්ලීය.

“ හ්ම්….. මේ ඇත්තො දන්නවද ඝණ දෙවියො හැදුනෙ කොහොමද කියල”

“නෑ අපේ හාමුදුරැවනේ..”

“ඔය ඝණ දෙවියන්ගේ මල්ලිට එක ස්ත්රි”යක් ගැන හිත ගිහින් .උත්සාහ කලාට කෙල්ල කැමති වෙලා නෑ .ඉතින් මූණ එල්ලන් ඉන්න මල්ලි දැකල අයිය කියනව උපායක් ..”

“මතුරපු පැන් කලයක් මල්ලිගෙ අතට දීල කියනව මල්ලි මේක අරන් යන්න ඇය නාන ඉසව්වට. මම ඇත් වේශයකින් දුවන් එන්නම් .මට බයේ ඇය නුඹේ ඇගට පනීවි. ඊට පස්සෙ මල්ලි ඒ ළමයව යාළු කර ගන්න .හැබයි මල්ලි මේ පැන් කලේ මට ඉහින්න නැත්නම් මට ඇත් වේශෙන් මිදෙන්න බෑ.”
ඔන්න කථා කරගත්තු විදියටම වැඩේ උනා .මල්ලිට මුළු ලෝකෙම අමතක උනා වගේ .අර පැන් කලෙත් බිම ඉහිරැනා .මේක බලන් හිටපු සක්ර් දෙයියො ඇවිත් පැන් නලය බලද්දි අනේ ඩිංගයි ඉතිරි.මොනා කරන්නද ? ඉතිරි ටික ඇගට විසි කලා . ඒක වැදුනෙත් පස්ස පැත්තට .ඒකනෙ ඔය දැන් පස්ස විතරක් අපේ වගේ තියෙන්නෙ.

“උපාසක ඇත්තො ඩිංගක් හිතන්න. මේ වගේ උන්දැලටද වදින්න පෙරැම් පුරන්නෙ කියල.”

“ බුදු පිළිම වහන්සේ නමක් දැකුමත් ඇති හිත නිවෙන්න”
අහගෙන හිටපු උක්කු බණ්ඩෙ දොහොත් මුදුන් දී වැද සමාව අයද “ මටනම් දේවල ඕනි නෑ අපේ හාමුදුරැවනේ …”කියමින් හිද උන් තැනින් නැගිට්ටේය. වචනයක් පිට නොකලත් අනෙක් අයත් ඒ කථාව පිලිගනිමින නැගී උන්හ.

“මහත්තයෝ තව අවුරැදු දෙදහස් පංසිය වසක්ම බුදු දහම තියෙන්නෙ මේ පුංචි රටේ. ඒක හිංද අපි කල්පණාවෙන් වැඩ කරන්න ඕනි.”

“වැරද්ද පෙන්නල දුන්න එකට අපේ හාමුදුරැවන්ට ගොඩක් පිං, අපිට යන්න අවසරයි එහෙනම්”

“ ඒක මගේ යුතුකමනෙ මහත්තයෝ..”

“හොදයි හැමෝටම තෙරැවණ් සරණයි !!! “

|
0

නරක අතේ වැඩ නෑ (පලමු කෙටි කථාව)

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 09, 2011
මේ කියන්න යන්නෙ අපේ ගමේ ඉන්න කවුරැත් දන්න කියන කෙනෙක් ගැන. ගමේ මගුලක් වෙන්නෙ කොතනද මෙන්න මෙය එතන .ඔයාල හිතන්නෙ කවුරැ වෙන්න ඇද්ද ?කපුකමට මෙන්ම වෙළදාමට කියාපු වාචාලකමක් ඇය සතු වීම ගමේ ගොඩේ කාගෙත් කතාවට ගෝචර වන්නක්.

කඩපිලකට ගමේ කොල්ලො කුරැට්ටො සෙට් උනාම කාගෙත් කටේ තියෙන්නෙ ඇලිස් ගැනමයි. ඒක හරියට නගරෙ අය ඇම්ඩගෙ කථා කියනව වගේ . ඒ කථාවලින් නැගෙන සිනහව සමහර දවස් වල මුළු ගමටම ඇහෙනව. ගමේ මිනිස්සු දැන ඕක දන්නව . කාලගෝට්ටියක් වගේ ඇහෙද්දිම,” ඔන්න අදත් ඇලිසගෙ ගුණ වරනනාව පටන් අරන්… “කියල කට කො‍නින් හිනා වෙනව.

ඉස්සර ඇසිලියගෙ මිනිහට තිබ්බලු අල පාත්තියක්. අල ජාතියක් කිව්වෙ අර කියද්දි දිව පැටලෙන ජාතිය. ගමේ හැමෝම දැනං උන්න ඒ අල මහ ජරාවක් කියල .ඒක හිංදම ඇසිලියගෙ මිනිහ ඒක දිහා බලාගෙන හීල්ලුව දවස පුරාවටම .
දවසක් ඔක දැකපු පිටගම් කාරයෙක් අල ගන්න කියල හිතාගෙන ගෙදරට ආව හදිසියෙම. හොද වෙලාවට ඇසිලිය විතරයි ගෙදර උන්නෙ

“ගෙදර කවුදෝ………………..?
අල බැහැලදෝ………………….?”

ඇසිලිය මැටි බිත්තියක තිබුණු හිලකින් හොරෙන් බලල කවුද කියල , “ආ මේ නම් පිටගමිකාරයෙක් මේක ගොනාට නග්ගල මේ ටික දීල දාන්න පුළුවන්” කියල හිතාගෙන සායත් එහාට මෙහාට පද්දා හදාගෙන එළියට අවා.

“මේ ඇත්තෝ……………..?”

“ආ…….. මම මේ එහා ගමට ආව වළං ටිකක් අරන් යන්න යන ගමනෙ දැක්ක සරැවට වැඩුන මෙන්න මේ ඔහේගෙ අල යාය .”

“ආ එහෙමද මහත්තයො ? මමත් මේ අල ගෙඩියක් තම්බ තම්බ හිටියෙ දවල්ට ඇද බාන්න.”

“කොහොමද අල ?”

වතුර නටනව විතරයි මහත්තයෝ..”

“එහෙනම් මට දියන්කො ගෝනි දෙකක්වත් “

“එහෙමයි…. මෙහෙන් ඈදි ගත්තනම් ,මම සුටුස් ගාල ගලවල දෙන්නම්.”

ඇලිසගේ කට හිංද ඔන්න අල ගෝනි දෙකක්ම විකුණුනා.
අනේ පව් අර මිනිහ ගෙදර ගිහින තම්බද්දි තමයි තේරැනේ “වතුර නටනව විතරයි “කියල.

එකෙක් ඔන්න කථාව ඉවර කලා හූ හඩ මැද්දෙම . කෙටි විරාමයක්වත් නැතුව ඔන්න තව එකෙක් තවත් කථාවකට මුල ගත්ත.

“ඇයි බං ඇසිලිය කපුකමේ යද්දිනෙ මරැ මරැ කෝලම් දාන්නෙ …”

“අර පහල ගමේ ලොකු අප්පුගේ දුව දන්නව නේද බොලං ?”

“ඔය කියන්නෙ අර ගැම්බර් මහත්තයගෙ වාහනේට හේත්තුවෙලා අත නැතිවුණ එකී නේද.?”

“අන්න හරි ..ඒකි තමයි “

“හරි ලස්සන එකී බං .මගේත් හිතේ ඒකි ගැන කැමැත්තක් තිබ්බ ඉස්සර .ඒත් ඔය සිද්දියෙන් පස්සෙ ඒක අත ඇරල දැම්ම ඔන්න තව එකේක ඇඩ් එකක් දැම්ම.”

"ඉදහන්කො කථාව ඉවර කියනකම් ………”

ඔය කෙල්ලට කපුකම් කලේ මේ අපේ ඇලිසම තමයි කෙල්ලගේ පොටෝ එකක් අරන් දකින දකින කොල්ලන්ට සැට් කරන්න හැදුව දවසක් රෑපෙට වහ වැටුන ඉලංදාරියෙක් මේකිගෙ ගැට වලට අහුවුණා.ඇලිසව කොල්ලගේ අම්ම ගෙදර ගෙන්නුව.

“ඈ බං කොහොමද කෙල්ලගේ ගෙදර දොරේ වැඩ එහෙම ?”

නරක අතේ වැඩ ඇරෙන්න අනෙක් ඔක්කොම සීරැවට වෙනව හාමිනේ ”
ඔන්න කතාවෙන් කථාවෙන් මගුල තීන්දු වුණා කෙල්ල බලන්න හැමෝම කැවිලි කද බැදගෙන අව අප්පුගෙ ගෙදරට.ඔක්කෝම සතුටු කථා බහේ උන්න පැයක් විතර.

“කෝ බං වහං කරං ඉන්නෙ නැතිව අපිට උබලගේ දෝණි පෙන්නුවනම අහවරයිවන දැං..”

හැමෝම පුදුම කරවමින් කෙල්ල ඉදිරියට ආව

“මොකක්ද යකෝ මේ …………??????” හාමිනේ කෑ ගැහුව.

“ඇයි හාමිනේ…….?”

“උඹ හදන්නෙ අබ්බගාත කෙල්ලෙක් මගේ පුතාගේ ඇගේ ගහන්නද…”

“ඇයි හාමිනේ මම කලින්ම කිව්වෙ නරක අතේ වැඩ නෑ කියල…….”


මේක මගේ පලවෙනි කෙටි කථාව. වැරදි ගොඩක් ඇති .ඒ ගැන මට කියල වැරදි හදා ගන්න සහය දෙනවනම් මම කැමතියි.

|
0

අවුරැදු

Posted by හර්ෂ K සිල්වා on Saturday, April 09, 2011

බත බුලතින් අස්වනු ඉතිරෙන්නේ
යස ඉසුරින් දිවියම වැජබෙන්නේ
සිතුම් පැතුම් සිතු සේ ඉටු වෙන්නේ
ලබන වසර සැමටම ජය වෙන්නේ

තෙලෙන් බැදෙන පැණි කැව්ම් සැදෙන්නේ
රබන් හඩට පා රැගුම් රගන්නේ
කොහෝ නදින් හැම සිත් තුටු වන්නේ
කිරියෙන් ඉතිරැනු වසක් ලබන්නේ

වැඩිහිටි පා වැද පව් හරවන්නේ
නැකතට සිරිතට සැම සිදුවෙන්නේ
නෑගම් යන්නට කද බැද ගන්නේ
සතුටට හිරැ දෙවියන් ළග ඉන්නේ

පංච කෙළියෙ සුකුමල රැව මැද්දේ
ඔංචිල්ලවත් තාලෙට පැද්දේ
ඔලිද කෙළියෙ තාලෙට එන සද්දේ
දුටු දණ සිත් ඒ වෙතටම බැන්දේ

|
0

මට වැරදිලා අදට අවුරැද්දයි

Posted by හර්ෂ K සිල්වා on Thursday, April 07, 2011
පෙර දිනයකදි සිදු වූ පොඩි වැරද්දක්
ආයෙත් කියන්නට ඇතිවුණි කැමත්තක්
ඒ හිංදා පරණ සිතුවිලි ඇබිත්තක්
මතකෙන් ලියූවේ නගමින් සිනහවක්

පාන්දරින් බසයට නැග ගත්තේ
අවසන් අසුනෙහි මම ඉද ගත්තේ
වට පිට බලමින් යන අය පැත්තේ
එක දසුනකි මගෙ හිත අර ගත්තේ

මම උන් අසුනට අඩියක් ඈතින්
හිද උන්නේ ඈ මගෙ හිත ගනිමින්
බලා උනිමි මා යන මග අතරින්
කවුරැන්දැයි මේ මා මත්කරමින්

එකසිය තිස් අටේ යන මේ බසය තුල
මගෙ ඉරනමත් විසදේවී පැතුම් තුල
නෙත් යුග වලින් ඈ වෙත සෙනෙහසින් හල
ආදරයක කථාවක් ඇරඹිය සිතුම් වල

හිස කේ ගෙල ලගට දිග ඇති වැඩිම උනොත්
විහිදුනු සුවද යන්නැති දුරකටම උනත්
දණහිස ළගට දික් වූ ඇදුමකින් නැතත්
ඇති හොදටෝම වැසුමට අගපසග සමත්

දුටු දණ හිත යන ඕ පියකරැලූ
හිත හිත මම බසයේ කෙලවරලූ
යන්නට ඈ ළගටම මගෙ හිතලූ
වේලාවක් සුදුසු ඇවිදින් තව නැතිලූ

ටික ටික බසය මා බසිනා තැනට ගිහින්
බැස යනු කොහොම ඈ හට බැදි සෙනෙහෙ සිතින්
ළං වෙන්නට මොහොත දැන් මට එළඹි බැවින්
අසුනෙන් නැගිටියෙමි උතුරන පැතුම් වලින්

ඈ ළග උන්නු මිනිසා බැස යන්න ගිහින්
මට ඉඩකඩ ලැබුනි ඈ ළග ඉන්න ගිහින්
කොණ්ඩය අතින් සාදාගෙන පුරැදු ලෙසින්
අසුනට බර උනේ ගැහෙනා හිත හදමින්

අයියෝ මේ කවුද උන්නේ සිනහ වෙමින්
හැට හැත්තැවකුත් ඇති ඇගෙ වයස ඉතින්
දැන් මම කරන්නේ කිම්දැයි සිතන ගමන්
ඈ මට සිනාසුනි දත් නැති කටම ඇරන්

වැරදුනු බව දැනෙන්නට ඇයි මේ පරක්කු
මේ හොදටෝම ඇති මා ලැබු අඩුක්කු
බසයෙන් බැස කකා හොද හැටි පැණි මුරැක්කු
එනවිට සිතුනි බොන්නට වස අරක්කු

|
0

කදුළු අරඹෙ

Posted by හර්ෂ K සිල්වා on Wednesday, April 06, 2011
කදුළු අරඹෙ හිනා වෙන්න නුඹට හයිය නැති උනාට
එපා ගෙවුන හැම දෙයක්ම හිත හිත ඉන්න
විසිතුරැ මල් පිපි මිහිමත විසකුරැ කටු තියෙනවාලු
දෙනෙත් අවදියෙන් මං එනතුරැ නුඹ ඉන්න

සදළු තලෙන් එහා ඈත
නෙක විසිතුරැ මැවූවාට
එපා නංගියේ හිත ඒ දිහා යවන්න
දෑතෙ හයිය තිබුණත් බෑ
ඒ විසිතුරැ මීල කරන්න
දෙනෙත් අවදියෙන් මං එනතුරැ නූඹ ඉන්න

අම්ම අප්ප නැති උනාට
තනිකම නුඹ හට දැනුනද
ගලා ගිය නුඹේ ඇස් වල කදුළු පිසින්න
කුලී වැඩට වෙහෙසි දවස
බෑ නංගියෙ ගෙවා ගන්න
දෙනෙත් අවදියෙන් මං එනතුරැ නූඹ ඉන්න

|
0

සුසුමට අවසර

Posted by හර්ෂ K සිල්වා on Wednesday, April 06, 2011
සුසුමට අවසර දෙනු මැන හදවත
ඉකි ගා හඩනු බැරී
කදුළට අවසර දෙනු මැන නෙත් යුග
ඉකි ගා හඩනු බැරී

මගේ හිතේ රජ ඔටුණු පැලැන්දූ
කුමරැන් නුඹේ සිහසුන ලැබුවා නම්
ඵල නැති හදවත කුමට මගේ ළග
වේදනාව සිරකර ගෙන ඉන්නට

සදේ කැළුම් කැන් මුහුණ වැසූ
අතරේ මා තනියෙන් සිටියා නම්
ඵල නැති හදවත කුමට මගේ ළග
වේදනාව සිරකර ගෙන ඉන්නට

|
0

දෙසිත

Posted by හර්ෂ K සිල්වා on Wednesday, April 06, 2011
දෙසිත එකසිත වී
පැතුම් මල් පිබිදී
ගෙවූයේ එක එකම මොහොතයි
දෙසිත එකසිත වී

සරාගික සෙනෙහසක් කුමටද
මලාණික නම් පිපුණු හද මල
සොයා යන්නට බැරැව ලතවෙන
අපම සෙවු අපගේම සෙනෙහස

දිනාගෙන හදවතින් සැනසුව
දයාබර පෙම් වදන් ගිලිහුණූ
දරා ගන්නට බැරිව ලතවෙන
අපම සෙවු අපගේම සෙනෙහස

|
0

ලොවේ දුක දැක

Posted by හර්ෂ K සිල්වා on Wednesday, April 06, 2011
සෝ සුසුම් හිමි දෙනෙත් කදුළේ සැගවිලා දෝ
වැදු දරැවන් නොලද සුව සොය ඉගිලුනා දෝ
තනිය නොතනිය ළගින් උන්නේ දුකම නේ දෝ
බුදුන් පහසින් ලැබූ සිසිලක් හිතේ නැති‍ දෝ

ලොව මහත් දුක් කදුළු ඉවසුවෙ අම්ම නේ දෝ
එහෙව් අම්මා වරැන් තනිකර ඉන්න හැකි දෝ
ඈට නැතිමුත් අපේ කුස හැම මොහොතෙ පිරෑ වෝ
ඇගේ ලේ කිරි වලට ගෙන නුඹෙ දෙතොල තැබුවෝ

|
0

සංවෙදී කතාවක්

Posted by හර්ෂ K සිල්වා on Wednesday, April 06, 2011
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ළගට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපළයි………………………..

රෝහණ වීරසිංහයන් ගයන මේ ගීතය කොතරම් සංවේදී ද ? ඒ තරමටම අම්ම තාත්ත අපේ ජීවිත වලට බද්ධ වෙල තියෙන්නෙ නම් ආත්ම ගණනක දුර ඉදල වෙන්න ඇති .ඒත් කියන්න නම් යන්නෙ ඒ ගැන නෙමෙයි .ඊට ගොඩක් වෙනස් කතාවක් . තව දවස් කීපයකින් ලබන සිංහල හිංදු අලුත් අවුරැද්දෙ මේ ගැන තත්පරයක් හිතන එක අලුත් අවුරැද්ද බත බුලතින් කෙසේ වෙතත් කරැණාවෙන් නම් පිරී ඉතිරිලා යන්න හේතු වේවි.

මිහිමඩලේ අදුරැ කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරැ කතරට වහින වැස්ස අම්මා
නිල් දෙ‍රනේ තුරැලිය මත මල් සමිපත අම්මා
තුරැලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා……………………….

නන්දා මාලනිය මේ ගයන්නේ සෙනෙහෙ බර දු පුතුන්ගේ හදවගේ ගැස්ම උනාට ඒ දහමට පිටුපෑ දූ පුතුන් කොතරම් මේ සමාජය තුල ඇතිද මගේ ඇස‍ට ගැටුණු හිතට දැණුනු මේ සිදුවීම සමහර විට ඔබත් අත් විදින්න ඇති

ඔයාල හිතන්නෙ ලෝකයෙ විදින්න තියෙන ලොකුම වේදනාව මොකක් කියලද ? ඒක තමයි අපි උපදින‍කොට අපේ අම්ම උහුලපු වේදනාව .එහෙම දුකක් විදල හැදුව .අපි අපේ දර දඩු උස් මහත් උනා කියල අපේ අරමුණු වෙනස් කියල ඒ අමමව අත ඇරල දානවනම් අපි උපදින නිරය මටනම් හිතා ගන්නවත් බෑ.

මට ඇස ගැටෙන මානයක ඉන්න එක අම්මා කෙනෙක් ගැන මම මෙහෙම කියන්නම්කො. උපන් දා සිට අපේ අම්ම කලේ අපිව රකින එක විතරයි .මේ අම්මත් එහෙමමයි .හිතන්න වයස අවුරැදු හැත්තෑවක විතර අම්ම කෙනෙක් මේ කාලෙට මොකද කරන්න ඕනි ? ඔයාල බුද්ධාගමේ නම් කියාවි බණ දහම් අසන්න ඕනි කියල .ඒත් මේ අම්ම එදා වේල හොයා ගන්න ආපනසාලාවක පිගන් හෝදනව තාමත්.

“ දරැවො නැද්ද ආච්චියෙ ………? ” කියල ඇහුවම ඒ අම්ම දරැවො ඉන්නව කිව්ව. ඒත් ඒ අම්මට හිතෙන්න ඇති මගේ ඊ ලග පැනය ඒ ළමයි ගැන වෙන්න අති කියල එයා උත්තරය එක පාරටම වෙනස් කලා.

“ නෑ මට දරැවො නෑ පුතේ……… ”

ඒ උත්තරේ දෙන්න ඇත්තෙ ඇයි ? ඇය හිතන්න ඇති සමහර විට දරැවන්ට අවමානයක් වේවී කියල. නැතිනම් මේ මොහොත ඈ විදින දුක නිසා දරැවන් මතකයෙන් ඈත් කරන්නට හදනවා වෙන්න ඇති .ඔයාලට හිතෙන්නෙ මොකක් කියලද ?

උදේ පාන්දර පහට ගෙදරින් එන මේ අත්තම්මා උදේ හතට වැඩ පටන් අරන් හවස හතර විතර වෙනකම්ම වැඩ .මටනම් පුදුමයි . මහන්සියේ ඵලයක් තියෙනව ද ? ඒ අම්මට දවසක ගමන් වියදම රැ 85ක්ලු .හිතන්න මාසෙට එහෙම උනොත් අඩුම ගානෙ 1700ක් විතර යනව ඇති .මම ඒ අම්මගේ පඩිය ගැන්නම් දන්නෙ නෑ .ඒත් ඒ වැටුප රැ 5000 ට වැඩි නෑ කියලනම් හිතන්න පුළුවන් .අතේ ඉතිරියෙන් කොහොමද ජීවත් වෙන්නෙ. මේ වයසට ලෙඩ එහෙම නැති වෙන්නත් අමාරැයිනෙ .ඒවට බෙහෙත් ?

මෙහෙම අම්මල මේ සමාජය තුල අන්නතවත් ඇති .නැත්නම් මේ තරම් දැහැමි රටක වැඩිහිටි නිවාස බිහි වෙන්නෙ නෑනෙ .පන්සිල් පද කටපාඩම් කර ගත්තට වැඩක් නෑ මෙහෙම දෙවල් වලට ඔබත් සම්මාදම් වෙලානම් .මොහොතක් හිතන්න……

මේ එලබෙන අවුරැද්දෙ එහෙම අම්ම කෙනෙක්ට අඩුම ගානෙ වචනයකින් වත් පුතෙක් නැත්නම් දුවක් වෙන්න පුළුවන්නම්. අන්න ඒකයි අපේ සැබෑ අවුරැද්ද වෙන්නෙ සතුටින් සමරන්න පුළුවන්‍ වන.

එහෙම සමාජයක් දකින්නයි ‘මගේ පන්හිද’ පැතුම…………..

අම්මේ නුඹෙ ඇස් පියවුණු දාකට
කවුරැද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති උන දැකට
කවුරැද මාගෙ දුක සැප විමසන්නේ………………

|
0

නිසල විලේ.......

Posted by හර්ෂ K සිල්වා on Friday, March 25, 2011

නිසල විලේ පිපි කුසුම් කැකුළ

සද එළියට විකසිත වන

මනුසත් සිත බුදු දහම් ගගුළ

අසා නිසල වන ලෙස


මහ වැස්සට මහ සුළගට

ජීවිත ගෙන ගිය හැටි දැක

සසර නිමක් නැති බව දැන

කරමු කුසල අද හෙටදිම......


මහ මුහුදට ගිය සැනසුම

ජීවිත ගෙන ගිය හැටි දැක

මෙහෙම දිවියකට නොව ලොබ ගෙන

කරමු කුසල අද හෙටදිම........


|
0

නිහඩ දෙනෙත

Posted by හර්ෂ K සිල්වා on Thursday, March 24, 2011

නිහඩ දෙනෙතින් කියන්නට බැරි

තරම් ආදරයක්

පන්හිදෙන් පිටු දහක් ලියන්නට බැරි

තරම් ආදරයක්

ඒ නුඹ ගැනයි කියලා කියන්නට බැරි

තරම් ආදරයක්

හිත දරා ගන්නට හිතන්නත් බැරි

තරම් ආදරයක්


ළග නැතත් දුර ගිය හිතක්

ආපසු ඉතින් යන්නද කියන්……

නොදැනිම මමත් පෙම්වත් උනත්

නුඹ කවැරැදැයි සොයමී තවත්


ජීවිත ගගත් ගැලුවට ඉතින්

සෙනෙහස කොහෙන් සොයමිද තවත්…….

සැනසුම නැතත් මතකය ඇතත්

වැරදුනේ කොහි සොයමී තවත්


|
0

මනාපය

Posted by හර්ෂ K සිල්වා on Sunday, March 20, 2011

නුඹගේ මනාපය දැන් දී අවසාන නිසා

කියලා දෙන්න සිතුනා උන් කියූ මුසා

රට සුරපුරක් කරනට කට කොනින් දෙසා

උන් සුර සැප විදී මහජන මුදල් ගසා



කොයි පාටටත් මේදේ අද පොදුය මෙහේ

වන්නේ අපිට උඩ බල බල ඉන්න ඔහේ

කාගෙත් සේවය‍ට එන මැතිදුන්ගේ ඉහේ

මල් පිපිලාලු අද දිනලා ඡන්දෙ පොරේ


|
0

ඇණ වීම

Posted by හර්ෂ K සිල්වා on Saturday, March 19, 2011

|
1

නැවට ගොඩවීම

Posted by හර්ෂ K සිල්වා on Saturday, March 19, 2011
නැලවෙන කෙස් වැටිය සුළගේ ලෙල දෙන්නේ
දිදුලන නෙත් ඇගේ මුතු සේ දිලි සෙන්නේ
පැද්දෙන උකුල මගෙ හිත ඈ දෙස ගන්නේ
එබි එබී බැලුවෙමී කවුරැන්දැයි එන්නේ

දැක දැක සිහින නුඹෙ අත මා අත ගත්ත
විද විද රෑ සොබා හොරහින් දැක ගත්ත
ළග ළග ඉදීමෙන් කටහඩ විද ගත්ත
අයියා කෙනෙකි මං නුඹගේ හිත ගත්ත

නුඹ යන මගේ අඩියක් පසුපස ඈතින්
උන්නේ නොවිදිනා දහ දුක් විදිමින්
කෑවේ නොකෑවා සේ නුඹ දෙස බලමින්
ඉන්නට නගේ බෑ තව වසරක් තනියෙන්

|
1

මගේ අපලෙ ආයෙ කියවන්නකො

Posted by හර්ෂ K සිල්වා on Friday, March 18, 2011
හෙනහුරැ අපල මා පසු පස දුව එද්දී
අරඹන හැම වැඩම තිතටම වරදිද්දී
මං ගැන යදින දෙවිවරැ දෙවොලේ ඉද්දී
දහසක පඩුරැ මදිවිය දුක කියවද්දී

උදේම නා සුදු පිරැවටයක් ඇදලා
නිවුඩු හාලෙ බත් කට දෙකකුත් කාලා
කිල්ලෙන් බේරෙන්නට තෙරැවණ් වැදලා
ගියේ දෙවොල වෙත සෙනෙහස ගැන හිතලා

සහකාරියගෙ පැත්තේ බර බර හිංදා
අනේ දෙවියනේ අපි විදි දුකු කන්දා
අහවර කර ගන්ට අපි දෙවියන් යැද්දා
සැදුනොත් හොදයි සැම සිත් මැ වෙත රංදා

හැඩහුරැකම් ලිපින හැම දෙවියන්ට කියා
පිහිටක් පතා උන්නේ නෙත් කදුළු අයා
මොහොතක නිහැඩියාවක ඇරඹුමක් නියා
හිත කැළඹුනේ දෙවියන් කෝ කොහෙද කියා

කට්ටඩියා අමුතුම ගමනක් අවා
අතේ දිගු රිටක් පැත්තට වන වනා
මගේ කකුල් දෙක යහතින් වූ නිසා
පණ බේරැනා මාරක අපලෙන් එදා

පසුවයි දැන ගත්තෙ සිදුවුන කතන්දරේ
උන්නේ ඇගෙ පියා සොමියෙල් අන්දරේ
ආයෙත් බලාගන්නට මගෙ කේන්දරේ
අම්මෝ ආයෙ ගියෙනම් නෑ ඒ පාරේ

|
1

සුදු නංගී මගදි හමුවුණී

Posted by හර්ෂ K සිල්වා on Thursday, March 17, 2011

කොට කොට ඇදුන බස් රිය ගම වෙත යද්දී
මැදියම් දොලහ පසු විය කාලය යද්දී
බසයෙන් බැස අඩිය දෙක ඉදිරිය ගද්දී
හමුවුනෙ දැන උන්න අල්ලපු ගෙයි සුද්දී

මේකිට මේ වෙලාවේ මොන වැඩද මෙහේ
දහවල ගෙවූවෙත් ගෙදරට වෙලා ඔහේ
ලංවී අසන්නට සිතමින් කතන්දරේ
උගුරේ රැළි බුරැල් කෙරැවෙමි ඇසෙන ලෙසේ

අයියා දැන්ද එන්නේ වැඩ ඇරී මෙහේ
මමනම් දුටුවෙ නෑ පහුගිය සුමානයේ
කරදර පොදි බැදන් යන මේ ගමන් මගේ
මටනම් ඇති ගියපු දුර හති ද‍මා හදේ

පුරහද අහිමි වී කළුවර අහස් ගැබේ
බක බක ගෙබි හඩින් අලලී බියද ගෙනේ
නංගී මොකද තනිවී මේ දෙමංසලේ
යනවද ගෙදර දැන්මම තව දුරයි එහේ

අයියා යන්න මට යන්නට බෑ ගෙදර
අම්මා ඉන්නවා මග බලමින් නිතර
කරැමය මගේ පසුපස එලවන අතර
නුඹලා මට දුරයි හමුවුන මග අතර

සුද්දී මොනව දොඩවනවද මංදා
මම සමුගතිමි කාලය ගතවෙන හිංදා
ලංවන විට පෙනෙන මානයෙ නෙත රංදා
දුටුවේ සුදු වියන් දෙපසෙහි මග බංදා

තව ටික දුරක් යන විට හිත හිතලා
දුටුවෙමි මියැදි බව අල්ලපු ගෙයි නංගා
දුටුවේ හොල්මනක් බව හිත දැනිලා
උන්හිටි තැන් නොදැන මම හූ කිව්වා

පන්සලෙ හාමුදුරැවො පන්සිල් වල පිහිටා
ඉන්නට කමටහන් එකිනෙක හිත සදලා
ස්වරයෙන් පිරිත් දෙසවන සුව සත සදලා
තිසරණ සරණ පැතුවේ බිය උන හිංදා

හොල්මන් කෙරැව පෙරදින සිතුවිලි එක්ක
පසුදින ‍ගියෙමි මල වත දැක සැන සෙන්න
සැතපී සිටි සුද්දි දැක හිත බෑ වා වන්න
ඉක්මන් වෙලා පිටවුණි නෙත වහ ගන්න


|
5

සරසවි සිහිනය

Posted by හර්ෂ K සිල්වා on Thursday, March 17, 2011
සිප් කල ඇදුරැ සැදු
සිත්තමි සිහින මැවූ
ලෝකය හිතින් සෙවූ
නැති වී කදුළු ඉණූ

වෙරගෙන උගෙන මතූ
සරසවි වරම් දිනූ
සිහිනය සැබෑ වෙනූ
නැත ඒ මිරිගුවකි අප දිවූ...............

|
3

ආදරය සොයන අය අතර මෙහෙව් පිරිමියෙක්

Posted by හර්ෂ K සිල්වා on Tuesday, March 15, 2011

දරය සොයා ගෙන යන මිනිස්සු අතර තමන් සොයා එන ආදරය එපා කියන පිරිමිත් මේ ලෝකෙ ඉන්නවද ? සිංහල ගීතයේ විවිධ තේමාවන් ඔස්සේ ගී ලියවුනද මෙවන් වු අදහසක් දකින්න ලැබෙන්නෙ මෙම ගීතයේය.

ටී ම් ජයරත්නයන්ගේ ලයාන්විත ස්වරයෙන් ගැයෙන මෙම ගීතය සිංහල ගීත රසවිදින සැවොම ඇසිය යුතු ගීතයකි.






නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා සිත
කලඹනු නොහැක ඉතින්.........


ලදකගෙ සෙනෙහස නොයදිමි කිසිද
නිදහස අගයන්නෙම්
නුරා පිරැණු නෙත වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්


සුපුරැදු තනිකම පාළුව මිහිරිය
ඉදිනෙම් සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්


අහල බලන්නකො එහෙනම් ඔයාලත්






|
0

සැනසුම කොහේද

Posted by හර්ෂ K සිල්වා on Tuesday, February 01, 2011

|
0

හිතන්න

Posted by හර්ෂ K සිල්වා on Tuesday, February 01, 2011

|
0

ඔයා ගැන

Posted by හර්ෂ K සිල්වා on Tuesday, February 01, 2011

|
0

අනේ.........

Posted by හර්ෂ K සිල්වා on Tuesday, February 01, 2011

|

Copyright © 2009 mage panhida All rights reserved. Theme by Laptop Geek. | Bloggerized by FalconHive.